වසර 5000 කට වඩා අතීතයකට හිමිකම් කියනු ලබන, අංගම් සටන් කලාව ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සංස්කෘතික අංගයක් ලෙස සලකනු ලබයි. එය පරම්පරා ගණනාවක් පුරා වර්ධනය වෙමින්, කාලයත් සමඟ නොනැසී පැවතුණ අතර, එක් යුගයකදී ශ්‍රී ලාංකේය ජීවන රටාවේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් විය. වසර ගණනක් පුරා රට වැසියන් මහත් කලබලකාරී කාල පරිච්ඡේදයන්ට මුහුණ දුන් අතර, බාහිර ආක්‍රමණ සහ අභ්‍යන්තර කලහයන්ට එරෙහිව ආත්ම ආරක්ෂාව සපයා ගැනීම සඳහා තම සෙසු පුරවැසියන්ගේ සහය ඇතිව ආරක්‍ෂණ විධිවිධාන සංවිධානය කිරීමට පාලකයන්ට සිදු විය. රාජාණ්ඩුව පූර්ණ කාලීන සොල්දාදුවන්ගෙන් සමන්විත ප්‍රමාණවත් හමුදාවක් පවත්වාගෙන ගියද, රජුගේ සහ රටෙහි අවශ්‍යතාව වෙනුවෙන් සේවයේ යෙදීමට රටවැසියෝ බහුතරයක් සූදානම්ව සිටියහ. මේ හේතුවෙන් අංගම් සටන් කලාව ගුරුවරුන් දේශය පුරා විසිරී ගිය අතර, ඔවුන් යටතේ ගොවිතැන්, කුඹල් කර්මාන්තය ආදී විවිධ වෙළෙඳාම්වල නිරත වූ සිවිල් වැසියන්, අවශ්‍ය අවස්ථාවකදී තම රට ආරක්ෂා කර ගැනීමට හැකි වන පරිදි මානසික හා ශාරීරික ශික්ෂණය ලැබීම සඳහා සටන් කලාවන් පුහුණු කළහ.

එහි ඇති ප්‍රචණ්ඩකාරී ස්වාභාවය හේතුවෙන්, එවක බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අංගම් සටන් කලාව පුහුණුව තහනම් කිරීමත්, නීතී විරෝධී ලෙස නම් කිරීමත් සිදු කරන ලදී. එය ශ්‍රී ලාංකිකයන්ගේ සටන් හැකියාව වැඩි දියුණු කරන්නක් වූ හෙයින් සිරගත කිරීම, වධ හිංසා පැමිණවීම, සහ එය පුහුණු කරනු ලබන ඕනෑම පුද්ගලයෙකුට දණහිසෙන් පහළට වෙඩි තැබීමට අණ දීම වැනි ආන්තික ක්‍රියාමාර්ගවලට ශ්‍රී ලංකාවේ යටත් විජිත සමයේදී බ්‍රිතාන්‍යයෝ යොමු වූහ. මෙම තත්ත්වය යටතේ, තෝරාගත් කිහිපදෙනෙකු අතර පමණක් අංගම් සටන් ක්‍රමය රහසිගතව පුහුණු වීම සිදු විය. බොහෝ ගුරුවරුන් ඉගැන්වීමෙන් වැළකී සිටි නමුත් කලාව සුරැකීමට කැප වූ රණශූර පවුල් කිහිපයක් විසින් එය අද දක්වා පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන එන ලදී. මෙය ඉපැරණි සටන් කලාවක් වීමත් අද පවතින තත්ත්වයට පැමිණීමට පෙර බොහෝ වෙනස්කම්වලට භාජනය වූ හෙයින්, විධිමත් ග්‍රන්ථයක මේ පිළිබඳ සඳහන් නොවීමත් හේතුවෙන් අංගම් සටන් කලාවේ ඉතිහාසය අපැහැදිලි වන අතර‍ අඛණ්ඩ ගලා යාමක් නොපෙන්වයි. කෙසේ වෙතත්, අංගම් සටන් කලාව පිළිබඳ ශිල්පීය අංගයන් ශ්‍රී ලංකාවේ අංගම් රණශූර වංශිකයන් විසින් ලේඛනගත කර තිබීම වාසනාවකි.

අංගම් සටන් කලාව පිළිබඳ දීර්ඝ ඉතිහාසය සහ එය අද පවතින තත්ත්වයට වර්ධනය වූ ආකාරය කිසි විටෙක විධිමත් නිබන්ධනයක ලේඛනගත නොවූ නිසා, එයට අවිනිශ්චිත හා අඛණ්ඩ ගලා යාමකින් තොර අතීතයක් ඇත. එසේ වුවද, ශ්‍රී ලාංකේය අංගම් රණශූර වංශිකයන් අංගම් සටන් කලාවේ ශිල්පීය අංගයන් සටහන් කර තිබීම භාග්‍යයකි. මේ පිළිබඳ අප සතුව පවතින්නේ, කරුණුවල පරතරයන් සහ නොවිසඳූ ගැටලු බොහොමයක් ඉතිරි කරමින් වාර්තාවලින් මැකී යාමට පෙර තාවකාලික තොරතුරු ලෙස පමණක් පවතින ‌‌‌‌ෙඑතිහාසික සිදුවීම්හි එකිනෙකට නොගැළපෙන තොරතුරු පමණි.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සංස්කෘතියේ අංගයක් ලෙස අංගම් සටන් කලාව සැලකෙන අතර, එය වසර 5000 කට වඩා අතීතයකට හිමිකම් කියනු ලබයි. පෙරදී එය ශ්‍රී ලාංකේය ජීවන රටාවේ අත්‍යවශ්‍ය අංගයක් වූ අතර, කාලයත් සමඟ වෙනස්වීම්වලට භාජනය වෙමින් පරම්පරාවෙන් පරම්පරාවට වර්ධනය වෙමින් පැවතෙන්නකි. අංගම් සටන් කලාව පිළිබඳ පැරණිතම සාක්ෂිය වසර 6000 කට පමණ පෙර පුරාණ ශ්‍රී ලංකාව පාලනය කළ බවට සැලකෙන රාවණා රජුගෙන් පැවතෙන්නක් බැව් විශ්වාස කරනු ලබයි. 

ක්‍රිස්තු පූර්ව 161 දී පමණ රට පාලනය කළ දුටුගැමුණු රජුගේ පුරාවෘත්ත මඟින් මෙම සටන් කලාව පිළිබඳ වඩාත් අද්‍යතන තොරතුරු සපයනු ලබයි. සිය නිර්භීතභාවය පිළිබඳ රසබර කතා ගෙතී ඇති දස මහා යෝධයින් දුටුගැමුණු රජුට සේවය කළ බව සැලකේ

 

More things to do